කුණ්ඩසාල කෘෂිකර්ම විද්‍යාලය ඉදිරියේ දී කෘෂි විශ්ව විද්‍යාලයක් බවට පත් කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කළේය.
2013-2015 වසරවල කෘෂිකර්ම ඩිප්ලෝමාව හැදෑරූ සිසු සිසුවියන් හට ඩිප්ලෝමා ප්රදානය කිරීමේ උත්සයට ඊයේ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.
කුණ්ඩසාල කෘෂි විද්‍යාල ශ්‍රවණාගාරයේදී මෙම උත්සවය පැවැත්විණි.
එමෙන්ම අවුරුදු දෙක හමාරක් තුළ මෙම ඩිප්ලෝමා පාඨමාලාව නොමිලේ හැදෑරීම සදහා අවස්ථාව ලබා දුන් මෙරට සියලු ජනතාවට ස්තුතිවන්ත විය යුතු බව මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කලේය.
එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගනිමින් රටට සේවය කිරීම සදහා ඉදිරියේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමග එක්ව කටයුතු කිරීමට අධිෂ්ඨාන කරගත යුතු බව මෙහිදී නව ඩිප්ලෝමාධාරීන් වෙත සදහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා කියා සිටියේ මෙම ඩිප්ලෝමාධාරීන් කෘෂිකර්ම ක්ෂේත්රය තුළම රැකියාවේ නිරතව රටට සේවය කිරීම අත්‍යවශ්‍ය බවය.
මෙරට සරසවිවලින් අධ්‍යාපනය ලබා ගෙන පිටව යන ඇතැම් තරුණ තරුණියන් රාජ්‍ය සේවයේ ඕනෑම ක්ෂේත්රයක රැකියාවක් ලබාගැනීමට උත්සාහ කරන බව අමාත්‍යවරයා කියා සිටියේය.
එලෙස ක්‍රියා නොකර තමන් හැදෑරූ විෂය ක්ෂේත්රය තුළම රැකියාවක නිරත වන්නේ නම් එයින් රටට මෙන්ම තමාට ද සේවයක් සිදුවන බව දුමින්ද දිසානායක අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
බොහෝ පිරිසක් යොමු නොවන එහෙත් රට වෙනුවෙන් විශාල සේවයක් සිදු කළ හැකි කෘෂිකර්ම ක්ෂේත්රයට තම දරුවා යොමු කිරීම වෙනුවෙන් මෙම අවස්ථාවට පැමිණ සිටි දෙමාපියන්ට ද අමාත්‍යවරයා ස්තුතිය පළ කළේය.