කෘෂිකර්ම අමාත්‍යංශය ඇතුළු රාජ්‍ය ආයතන රැසක් එක්ව ක්‍රියාත්මක කරන ජාතික ආහාර නිෂ්පාදන සංග්රාම සතියේ සිව්වන දිනය අදයි.
දේශයේ ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම හා වගා නොකරන ඉඩම් වගා කිරීම අරමුණු කර ගනිමින් පසුගිය 06 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජාතික ආහාර නිෂ්පාදන සංග්රාම සතිය ආරම්භ විණි.
එය ලබන 12 වනදා දක්වා ක්‍රියාත්මක වීමට නියමිතය.
සිව්වන දිනය වන අද දිනය අධ්‍යාපන දිනය ලෙස නම් කර තිබේ.
ඒ අනුව අද දිනයේදී පාසල් හා පෙර පාසල් දස දසහක් සම්බන්ධ කර ගනිමින් එම භූමිවල පළතුරු පැළ ලක්ෂ 05 ක් වගා කිරීම සිදු කෙරේ.
කෘෂිකර්ම අමාත්‍යංශය මගින් දිවයින පුරා පිහිටුවා ඇති සිතමු ගොවි කාන්තා සමිතිවල සාමාජිකයින්ගෙන් හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් එම පළතුරු පැළ ලබා ගෙන තිබේ.
එමෙන්ම මෙම වගා වැඩසටහන් සදහා පාසල් හා පෙර පාසල් වෙත කාබනික පොහොර ලබා දීම ද සිදු කෙරෙන අතර, පාසල් සිසුන් සදහා පළතුරු පැළයක් සිටුවන ආකාරය ආදර්ශනය කර පෙන්වීම ද සිදු කෙරේ.
පාසැලේ පිහිටි පළතුරු ශාකයක් කප්පාදු කර නඩත්තු කරන ආකාරය පිළිබදව සිසුන් දැනුවත් කිරීමට ද නියමිතය.
ඉඩකඩ ඇති සෑම පාසලකම ගෙවත්තක් ආරම්භ කිරීම ද අද දිනයේදී සිදු කෙරෙනු ඇත.