වසර 05 ක් තුළ පැළ ලක්ෂ 17 ක් පාසල් දරුවන්ගේ අධීක්ෂණයෙන් රටට දායාද කිරීම අරමුණ බව රජය පවසයි.
එම අරමුණ පෙරදැරිව මෙම වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කිරීමේදී සෑම දරුවෙකු අතින්ම පැළයක් රෝපණය කිරීම සිදු විය.
කැකුළු තුරු උදාන ලෙස මෙම ජාතික වැඩසටහන නම් කර තිබිණි.
වැඩසටහනේ ප්‍රධාන උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගම්පොළ අටබාගේ විමලධර්ම ජාතික පාසලේදී සිදු විය.
මෙම ජාතික වැඩසටහන වසරක් පුරා ඉදිරියට යන අතර වසර 05 ක් ගතවන විට කොස්, දෙල්, පොල්, අඹ ඇතුළු පැළ ලක්ෂ 17 ක් දරුවන්ගේ අධීක්ෂණයෙන් පරිසරයට දායාද වනු ඇති.
සෑම වසරකම පළමුවැනි ශ්‍රේණියට පිවිසෙන දරු දැරියන් ගණන තුන් ලක්ෂ පනස්දහසකට ආසන්න වේ.
ඔවුන් පරිසරයට ආදරය කරන පුරවැසියන් බවට පත් කිරීම හා අනාගත පරපුරට සුරක්ෂිත පරිසර පද්ධතියක් දායාද කිරීම මෙම වැඩසටහනේ අරමුණ වේ.
නාගරික දරු දැරියන්ට තම ප්‍රදේශවලට ගැලපෙන කුඩා ප්‍රමාණයේ ශාඛ සහ ගෙවතු රහිත නිවාසවල පදිංචි දරුවන්ට බදුන්ගත පැළයක් සපයනු ලැබේ.
පැළ බෙදාදීම කෘෂිකර්ම අමාත්‍යංශය මගින් සිදුකරන අතර කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් විසින් දරුවා සහ පැළය පිළිබද වාර්තාවක් රජයට ලබා දීමට නියමිතය.