මෙම වසරේදී සෞභාග්‍යයේ දැක්ම කෘෂිකාර්මික ප්‍රතිපත්තිය අනුව මුං ඇටවලින් ස්වයංපෝෂණය වීමේ අරමුණ පෙරදැරිව විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.
ඒ අනුව මෙරට මුං වගාව මෙම වසරේ කාල වකවානු හතරක් වශයෙන් වගා කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
එනම්, නොවැම්බර්, ජනවාරි මහ කන්නය, පෙබරවාරි ,මාර්තු හතරවන කන්නය, මාර්තු මැයි යල කන්නය, තුන්වන කන්නය ජූලි සැප්තැම්බර් ලෙස වගා කෙරේ.
මෙරට මුං අවශ්‍යතාවය වසරකට මෙට්‍රික් ටොන් 26000 කි.
මෙම ප්‍රමාණය ඉහත සදහන් කන්න හතර තුළ වගා කිරීමට අපේක්ෂිත වපසරිය හෙක්ටයාර් 33000 ක් පමණ වන බව දෙපාර්තමේන්තුව කියා සිටී.
මුං වගා කරන ගොවීන්ට සහන රැසක් ද ලබාදීමට නියමිතය.
ඒ අනුව හෙක්ටයාර් 25000 ක ප්‍රමාණයට 50% සහන වැඩසටහන යටතේ බීජ ලබා දීමට සැලසුම් කර තිබේ.
එමෙන්ම, ප්‍රාදේශීය බීජ සුලබතාවය වැඩි දියුණු කිරීම සදහා විශේෂ ගබඩා ක්‍රමයක් වන ප්ලාස්ටික් කෑන්වල බීජ ගබඩා ක්‍රමය හදුන්වා දීමට ගොවීන් අතර කෑන් 5000 ක් බෙදා දීම ද සිදු කෙරේ.
බඩ ඉරිගු වගා කරන ඉඩම්වල අතුරු බෝගයක් ලෙස හෙක්ටයාර් 1000 ක මුං වගාව සිදු කිරීමට නියමිතය.
එමෙන්ම ගොවීන්ට වගාව සදහා අවශ්‍ය කෘෂි ලිං හා ජල සම්පාදන පද්ධති ලබාදීමට ද පියවර ගැනේ.
එමෙන්ම අවශ්‍ය ප්‍රදේශ සදහා විදුලි වැට 200 ක් ලබා දෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියා සිටී.
සමස්ත ව්‍යාපෘතිය සදහා රුපියල් මිලියන 230.7 ක මුදලක් වැය කිරීමට අපේකෂා කරන අතර ඒ හරහා මෙරටට මුං ආනයනය සදහා වැය වන රුපියල් මිලියන 2400 ක මුදල ඉතිරි කර ගැනීමට අපේක්ෂා කරන බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.