30.9 C
Sri Lanka
Wednesday, August 4, 2021

රසායනික පොහොර භාවිතය ඉවත් කළ ලොව පළමු රට ලෙස ශ්‍රී ලංකාව පත් කරන බවට ජනපතිගෙන් ප්‍රතිඥා

රසායනික පොහොර භාවිතය මුළුමනින්ම ඉවත් කළ ලෝකයේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීමේ අභියෝගය භාර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

 “නිරෝගීමත් සහ ඵලදායී පුරවැසියෙක් බිහි කිරීමට රජය විසින් වස විසෙන් තොර ආහාර වේලක් සඳහා ජනතාවට ඇති අයිතිය සහතික කළ යුතු බව ජනාධිපතිතුමා කියා සිටී.

රසායනික පොහොර, කෘමිනාශක හා වල් නාශක භාවිතය හා ආනයනය තහනම් කිරීම පිළිබඳව දැනුවත් කිරීමට ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

ඉදිරි දශකය තුළ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සඳහා මුළුමනින්ම කාබනික පොහොර යොදා ගැනීමට එම නිෂ්පාදන වේගවත් කළ යුතුය. ” යන්න “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ පොරොන්දුව බවද එතුමන් සදහන් කරයි.

ශ්‍රී ලංකාව රාසයනික පොහොර ආනයන සඳහා 2019 දී ඩොලර් මිලියන් 221ක් වැය කළේය.

රසායනික පොහොර, වල් නාශක සහ පලිබෝධ නාශක සඳහා අතිවිශාල වියදමක් කළද කෘෂිකාර්මික නිෂ්පාදනයෙහි ගුණාත්මක වර්ධනයක් සිදුව නැතැයි ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

පස නිසරු වී අස්වන්න අඩුවීමත්, ජෛව විවිධත්වය විනාශවීමත් දක්නට තිබේ. රසායනික පොහොර සහ කෘමිනාශක භාවිතය ගංගා, ඇල දොල ජලය දූෂනය කරන අතර ගුණාත්මක පානීය ජල සම්පාදනයට ප්‍රබල අභියෝගයක් වී ඇත.

 වකුගඩු, පිළිකා ඇතුළු බෝ නොවන රෝග රැසකට රජය විසින් දරන වියදම වාර්ෂිකව ඉහළ යමින් පවති. ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපාය මාර්ග අහිමිවීම, සෞඛ්‍ය තත්ත්වය දුර්වලවීම සහ ජනතාවගේ ඵලදායීතාව අඩුවීම රට මුහුණදෙන අභියෝගක් බවට පත්වී ඇත.

වැඩසටහන ආරම්භයේදී ගැටලු ඇතිවිය හැකි බවත්,  එහෙත් තිරසර හරිත සමාජ ආර්ථික රටාවක් ගොඩනැගීම පමා කළ යුතු නැති බවත් ජනාධිපතිතුමා සදහන් කරයි.

.රසායනික පොහොර භාවිතය අත්හැරීමෙන් නිෂ්පාදනය අඩුවනු ඇතැයි ගොවින් සදහන් කළහොත් රසායනික පොහොර සහනාධාරයට වාර්ෂිකව වැය කෙරෙන රුපියල් බිලියන 50ක මුදලින් අඩුවන ආදායම ගොවි ජනතාවට ගෙවන බවට ජනාධිපතිතුමා සහතික වෙයි.

විධිමත් පුහුණුවක්, නිසි අධ්‍යයනයක් සහිත පිරිසක් වැඩසටහන ක්‍රියාවට නැංවීමට අවශ්‍ය වන අතර, අවශ්‍ය වුවහොත් අභියෝගය ජය ගැනීමට තමා පෞද්ගලිකව ගොවි ජනතාව අතරට පැමිණීමට සූදානම් යැයි ද ගෝඨාභාය රාජපත්ෂ මැතිතුමා කියා සිටියේය.

දිස්ත්‍රික් මට්ටමින් කාබනික පොහොර නිෂ්පාදන දිරි ගැන්වීමට අවශ්‍ය සියලු පහසුකම් නිෂ්පාදකයන්ට සැපයීමට රජය ඝෘජුව මැදිහත්වන බව ද ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Latest news

- Advertisement -spot_img

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here