මෙවර මහ කන්නයේ ගොවිතැන් කටයුතු සිදු කිරීමේදී වෙල් මීයන් සම්බන්ධයෙන් දැඩි අවධානයකින් කටයුතු කරන ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
පසුගිය වසරට සාපේචක්ෂව මෙම වසරේ ගෙවුණ කාලය තුළ මී උණ රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ විසින් පෙන්වා දී තිබේ.
පසුගිය වසරේ මෙරටින් මී උණ රෝගීන් 5769 ක් වාර්තා වූ අතර ගත වූ කාලය තුළ මෙරටින් මී උණ රෝගීන් 6096 දෙනෙකු වාර්තා වී තිබේ.
වසර අවසන් වන විට මෙම තත්ත්වය තවත් ඉහළ යා හැකි බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කර සිටින්නේ.
වෙල් මීයන් කුඹුරට මෙන්ම අස්වැන්නට ද විශාල වශයෙන් හානි කරන පළිබෝධකයෙකි.
වෙල් මීයාගේ ශරීරය තුළ ඇති ලෙප්ටොස්පයිරා නම් බැකිටීරියාව මිනිස් ශරීරයට ඇතුළුවීමෙන් මිනිසාට මී උණ රෝගය වැළදේ.
වෙල් මීයන්ගෙන් කුඹුර බේරා ගැනීමට නම් මූලික පියවරක් ලෙස කුඹුර අවට පිරිසිදු කිරීම කළ යුතුය.
නියරවල් බැදීමේදී පටුවට බැදීම සහ කල් වෙලා ගෙන සවිමත්ව බැදීමෙන් ද යම් තරමකට වෙල් මීයන් පාලනය වන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියා සිටී.
එහිදී පසුගිය කන්නය තුළ බැද ඇති වෙල් මීයන්ගේ ගුල් වසා දැමීම ද අනිවාර්යෙන් සිදු කළ යුතු වේ.
එමෙන්ම වගාව සිදු කරගෙන යන විට වෙල් මීයන්ගේ ස්වභාවික සතුරන් වන කුරුල්ලන් හා බකමූනන්ගේ උදව් ලබා ගෙන මීයන් පාලනය කිරීමට හැකි බව ද දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.